Sunday 19 February 2017

නව අධිවේගී මාර්ග සඳහා රජය විදෙස් ණය නොගනී



අධිවේගී මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතීන් සඳහා විදේශ ණය ලබා නොගැනීමට රජය විසින් තීරණය කර තිබෙන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.  මේ සඳහා පුද්ගලික සහ පොදු ආයතනවල සහභාගීත්වය සහ සියලු ඉදිකිරීම් ක්ෂේත්‍ර හරහා මූල්‍ය  පහසුකම් ලබාගැනීමේ වැඩපිළිවෙළක් කෙරෙහි රජය විශ්වාසය තබන බවද ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 
අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශයකට අනුව මෙම තීරණය ගෙන ඇති බවත්, දැනට ලබාගෙන ඇති විදේශ ණය පියවීම පිළිබඳ අර්බුදය සම්බන්ධයෙන් අගමැතිවරයාගේ අදහස් සැලකිල්ලට ගනිමින්  කටයුතු කරන බවත් කිරිඇල්ල මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා තිබිණ. 
ඒ අනුව මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා වූ කි.මීටර 58.7 ක් පමණ වූ කොටස ඉදිකිරීමට සහ රුවන්පුර ව්‍යාපෘතියේ කහතුඩුවේ සිට පැල්මඩුල්ල දක්වාවූ අධිවේගී මාර්ගය ඉදිකිරීමට චීනයේ ‘එක්සිම්“ බැංකුවෙන් ණය ගැනීමට ගෙන තිබූ තීරණය ඉවත දැමීමට සිදුවන බවද කිරිඇල්ල මහතා පැවසීය. 
කුරුණෑගල - දඹුල්ල අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කළ වටිනාකම රුපියල් බිලියන 161 කි. අදියර හතරකින් ගොඩනැගීමට යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගය සඳහා රුපියල් බිලියන 274 ක් පමණ වැයවේ.

http://www.lankadeepa.lk/index.php/articles/508308