Saturday 4 April 2015

ඉදිකිරීම් ක්‌ෂේත්‍රයේ රැකියා ලක්‌ෂ විස්‌සක්‌ අනතුරේ



වැටුප් ගෙවන්නටවත් මුදල් නැතිලු දැනටමත් දහස්‌ ගණනක්‌ ඉවත්කරලා

ඉදිකිරීම් ක්‌ෂේත්‍රය යනු අපේ රටේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට දහයකට පමණ බලපාන මෙරට ආර්ථිකයේ වැදගත්ම අංශයකි. එය කොතරම් වැදගත්ද යන්න පෙන්නුම් කරන්නට හොඳම උදාහරණය ඉදිකිරීම් ක්‌ෂේත්‍රයෙන් රටට සැපයෙන Rජු හා වක්‍ර රැකියා ප්‍රමාණය ලක්‌ෂ 20 ක්‌ පමණවීමය. ඒ කෙසේ වෙතත් අද වනවිට එම ක්‌ෂේත්‍රයම බරපතල ප්‍රශ්නයකට මුහුණ දී සිටී. ඒ තමන් කළ වැඩවලට අයවිය යුතු ගෙවීම් දිගින් දිගටම ප්‍රමාදවීම නිසාය. මේ නිසා ඉදිකිරීම් ආයතනවල සේවකයන්ට වැටුප් ගෙවන්නටද නොහැකි තත්ත්වයක්‌ උද්ගතවී තිබේ. මේ වනවිට ඇතැම් ආයතනවල දැනට මාස කීපයක්‌ තිස්‌සේ වැටුප් ගෙවා නැත. තවත් ඉදිකිරීම් සමාගම් ගණනාවක්‌ දින නියමයක්‌ නොමැතිව වසාදමා ඇත. සමහර ප්‍රධාන සමාගම් සේවකයන් දහස්‌ ගණනක්‌ ඉවත්කර ඇත. සිංහල අලුත් අවුරුද්ද ආසන්නයේ සේවකයන්ට ලබාදිය යුතු ගෙවීම් ලබාදීමට නොහැකිවීම නිසා සේවකයන්ද පත්ව සිටින්නේ බරපතල අපහසුතාවන්ටය.

පසුගිය ජනාධිපතිවරණයට පෙර සිදු කළ ඉදිකිරීම්වලට ගෙවිය යුතු ගෙවීම් ලෙස රුපියල් ලක්‌ෂ හතලිස්‌ පන්දාහකට (මිලියන 4500) අධික මුදලක්‌ ඉදිකිරීම් සමාගම්වලට රජයෙන් හා රාජ්‍ය ආයතනවලින් නොගෙවීම නිසා මේ තත්ත්වය උද්ගතවී තිබේ. පසුගිය රජයට එරෙහිව නැගුනු බරපතල චෝදනාවක්‌ වූයේ ඉදිකිරීම් ක්‌ෂේත්‍රයේ කොන්ත්‍රාත් සම්බන්ධයෙනි. එම නිසා මේ කොන්ත්‍රාත්කරුවන් දෙස වත්මන් රජය බලන්නේ තරමක්‌ වපර ඇසිනි. ඇතැම් විට වත්මන් රජයේ සැකයද නිවැරදි විය හැක. එහෙත් ව්‍යාපාරික ක්‌ෂේත්‍රයේ සියලුම දෙනා පුරුදුව සිටින්නේ පවතින රජය සමඟ සමීපව කටයුතු කරමින් ව්‍යාපාර කරන්නටය. පැවති රජය සමඟ මෙන්ම වර්තමාන රජය සමඟද එලෙසමය. එසේ නොමැතිව ව්‍යාපාර කරන්නට බැරිය. ඔවුන් ව්‍යාපාර කරනවා මිස දේශපාලනය නොකරති. එම නිසා ඉදිකිරීම් ක්‌ෂේත්‍රයට මේ සියලු ප්‍රශ්න ඇති වී තිබෙන්නේ පසුගිය ජනවාරි මාසයේ සිදුවූ ආණ්‌ඩු පෙරළියත් සමඟ ඇති වූ තත්ත්වයන් නිසාය.

මාර්ග ඉදිකිරීම්, ජල සැපයුම් ඉදිකිරීම් කොන්ත්‍රාත් හා ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා මෙම මුදල ගෙවීමට ඇති බව සඳහන්ය. මෙම ඉදිකිරීම් අතර විදේශ ණය හා ආධාර ව්‍යාපෘති, දේශීය බැංකු හරහා ගෙවීම් සිදුකරන ව්‍යාපෘති, මහ භාණ්‌ඩාගාරය විසින් මුදල් ගෙවීම් සිදුකරන ව්‍යාපෘති පවතින බව සඳහන්ය. මේ ගෙවීම් සියල්ලටම ඊට අදාළ නිලධාරීන් සියලුම දෙනා පාහේ අනුමත කර අවසන් ගෙවීම් සඳහා යොමුකර තිබු ඒවා බව ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෝ පවසති.

ඉදිකිරීම් ක්‌ෂේත්‍රයේ ඇති විශාලත්වය හා එය පැතිරුණු ස්‌වභාවය ගත්කළ ඒ සඳහා දායක වන ප්‍රමාණයද අති විශාලය. ඉදිකිරීම් ඉංජිනේරුවන්, කාර්මික නිලධාරීන්, එම කාර්යාලවල සේවකයන්, පෙදරේරුවන්, කම්කරුවන්, සැපයුම්කරුවන්, කාර්මිකයන්, වැලි අදින්නන්, ගල් කඩන්නන්, රියදුරන්, විවිධ සේවා සපයන්නන් ආදී සුවිශාල ප්‍රමාණයක්‌ මේ සඳහා දායක වෙති. මේ නිසා අද වනවිට බත් පැකට්‌ සපයන්නාගේ සිට වැලි ගොඩදමන්නාගේ සිට ඉහළම ස්‌ථරවල සේවකයන්, ව්‍යාපාරිකයන් දක්‌වා අද අසරණව සිටිති.

ප්‍රධාන කොන්ත්‍රාත් සමාගම් ගත්විට එම එක්‌ එක්‌ සමාගම් සතුව අඩුම තරමින් රුපියල් මිලියන දහසකවත් ඉදිකිරීම් යන්ත්‍රොaපකරණ තිබේ. ඇතැම් සමාගම්වල ඊටත් වැඩිය. ඒ සියලු යන්ත්‍රොaපකරණ මිලදී ගෙන ඇත්තේ දේශීය බැංකු හෝ මුල්‍ය සමාගම්වලින් වසර හතරකට හෝ පහකට ලීසිං පහසුකම් ලබාගනිමිනි. මේ නිසා දැනට මාස කීපයක සිට ලීසිං වාරික ගෙවීම මේ සමාගම් විසින් පැහැර හැර තිබේ. එහෙත් අදාළ බැංකු හා මුල්‍ය සමාගම්වලටද එම යන්ත්‍රොaපකරණ රැගෙන ගොස්‌ තව කාටවත් විකුණා හෝ අදාල මුදල අය කරගන්නට නොහැකි වී ඇත්තේ කර්මාන්තයේ පවතින තත්ත්වය මත එම යන්ත්‍ර කිසිවකුට අවශ්‍ය නැති නිසාය. එසේම සමහර මූල්‍ය ආයතනවල යාඩ් වාරික නොගෙවන ලද වාහනවලින් පිරී පවතින බව සඳහන්ය. එපමණක්‌ නොවේ. මේ ඉදිකිරීම් සමාගම් බොහොමයක්‌ බැංකුවලින් ව්‍යාපාරික ණය ලබාගෙන තිබේ. මේ වන විට ඒවා ගෙවීමද පැහැර හැර තිබේ. ඒවායේ පොලී එන්න එන්නම ඉහළ යමින් තිබේ. ණය අයිරාවල පොලිය ඉහළ මට්‌ටමක පැවතීම නිසා තත්ත්වය බරපතලය. මේ අතර තවත් බොහෝ දෙනා තම දේපල උකසට තබා ණය ලබාගෙන තිබේ. ඒවා නොගෙවීම යනු බැංකු හා මුල්‍ය ක්‌ෂේත්‍රයද බරපතල අර්බුදයට ලක්‌වීමකි.

අපේ රටේ විශ්වවිද්‍යාල හා විවිධ කාර්මික විද්‍යාල, කාර්මික පුහුණු කිරීමේ ආයතනවලින් දහස්‌ ගණනක්‌ වාර්ෂිකව ඉදිකිරීම් ක්‌ෂේත්‍රය සඳහා පුහුණු කරවති. මේ සියල්ලන්ටම පුහුණුවීම් මෙතෙක්‌ ලබාදුන්නේ මේ ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගම්ය. වර්තමාන ගැටලු හමුවේ මෙම පුහුණු කිරීම් සියල්ල අදාළ සමාගම් විසින් නවතා ඇත. එවැන්නක්‌ කරන්නට ශක්‌තියක්‌ද ඔවුන්ට නැත. මේ නිසා අදාල පුහුණු කිරීම් සිදුකරන්නට ස්‌ථාන නොමතිවීම් නිසා විශ්වවිද්‍යාල, කාර්මික විද්‍යාල ආදියද මේ වනවිට ගැටලුවලට මුහුණ පා සිටිති.

මේ තත්ත්වය මේ ආකාරයටම පැවතිය හොත් ඉදිරි මාස දෙක හෝ තුන තුළ ඉදිකිරීම් ක්‌ෂේත්‍රයේ සුවිසල් කඩාවැටීමක්‌ සිදුවී එය සමස්‌ත ආර්ථිකයටම බරපතල ලෙස බලපානු ඇත.

මේ අතර වත්මන් රජය හා ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් අතර පැවති සාකච්ඡාවලදී අදාළ ගෙවීම්වලින් සියයට විස්‌සත් - තිහත් අතර ප්‍රමාණයක්‌ කපා හරින ලෙස රජයේ නියෝජිතයන් දැනුම්දී ඇති බව සඳහන්ය. එවිට කොන්ත්‍රාත්කරුවන් පසා ඇත්තේ තමන් මේ කොන්ත්‍රාත් ටෙන්ඩර් සඳහා ඉදිරිපත්වී තරගකාරී මිල ගණන් යටතේ ලබාගත් බවත් එම නිසා එවැනි මුදල් ප්‍රමාණයක්‌ කපාහරින්නට නොහැකි බවය. තම සමාගම් වල ප්‍රශ්න, සේවක ගැටලු, ණය, ලීසිං වාරික ප්‍රශ්න ආදිය මෙහිදී කොන්ත්‍රාත්කරුවන් රජයට දන්වා තිබේ.

මාර්ග ඉදිකිරීම් සම්බන්ධ ගෙවීම් පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ද එලෙස විශාල මුදලක්‌ කපාහරින ලෙස ඉල්ලා තිබේ. එයද කොන්ත්‍රාත්කරුවන් ප්‍රතික්‌ෂේප කර තිබේ. එම නිසා අදාළ ගෙවීම් සඳහා රජය විසින් මාර්ග සංවර්ධන අධිකාරියට ලබාදුන් රුපියල් මිලියන 2200 ක මුදල මාර්ග සංවර්ධන අධිකාරියේ හිරවී තිබේ. එහි නිලධාරීන්ද තීරණයක්‌ ගත නොහැකිව සිටින්නේ පසුගිය දිනවල රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් අනුගමනය කළ දරදඬු ප්‍රතිපත්තියට බියෙනි.

කෙසේ වෙතත් මේ ප්‍රශ්නයට සම්බන්ධ සියලු දෙනා මේ තත්ත්වය තේරුම් ගෙන වහාම මේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතුය. එක පැත්තකින් Rජු හා වක්‍ර රැකියා ලක්‌ෂ විස්‌සකි. අනෙක්‌ අතින් අපේ රටේ ව්‍යාපාරිකයන් පිරිසකි. ඒ සියල්ල අතරින් මෙහි බලපෑමක්‌ ක්‍ෂේත්‍ර ගණනාවකට දරුණු ලෙස යොමුවන බවද පෙනේ.

මේ සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන ඇමති කබීර් හෂීම් මහතා සම්බන්ධ කර ගැනීම සඳහා අවස්‌ථා ගණනාවකදී උත්සහ කළද ඔහුගේ ජංගම දුරකථනය විසන්ධි කර තිබිණි. ඇතැම් අවස්‌ථාවල දුරකථනයට කිසිවකු පිළිතුරු දුන්නේ නැත.

ජනිත සෙනෙවිරත්න


Source: http://www.divaina.com/2015/04/05/feature20.html

No comments:

Post a Comment