ක්‍රිකට් පිති හතරක සහ පන්දුවක හැඩයෙන් යුතුව ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ ඉදිකෙරෙන මහල් 69 කින් යුත් මෙම ගොඩනැගිල්ල සඳහා විල්ස් රියැලිටර්ස් සමාගම ඩොලර් මිලියන 150 ක දැවැන්ත මුදලක් ආයෝජනය කිරීමට නියමිතය. 
ගොඩනැගිල්ල තුළ අති සුඛෝපබෝගි නිවාස පද්ධතියක්, ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ කෞතුකාගාරයක්, ක්‍රිකට් සැමරුම් භාණ්ඩ ප්‍රදර්ශනාගාරයක්, සිනමාශාලා, ශ්‍රවණාගාර, උත්සවශාලා, ගෘහස්ථ ක්‍රීඩාංගණ, සාප්පු, ආපනශාලා සහ ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථාන ඉහළ තළයේ පහසුකම් ඇතුළත් වන බව ඉදිකිරීමේ සමාගම පවසයි.
මෙම ව්‍යාපෘතියේ සන්නාම තානාපතිවරු ලෙස 96 ලෝක ශූර ක්‍රිකට් පිලේ නායක අර්ජුන අරණතුංග මහතා ඇතුළු ක්‍රීඩකයෝ කටයුතු කරති. මෙම ව්‍යාපෘතිය හඳුන්වා දීම වෙනුවෙන් ලෝක ශූර ශ්‍රී ලංකා පිලේ සාමාජිකයන් 11 දෙනකුගේ සහභාගිත්වයෙන් කොළඹදී පසුගියදා විශේෂ උත්සවයක් පැවැත්විණි.   
එහිදී අදහස් දැක්වූ ලෝක ශූර පිලේ නායක අර්ජුන රණතුංග මහතා පැවසුවේ ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට රුපියල් ලක්‍ෂ 500 ක මුදලක් ලැබීමට නියමිත බවයි. වර්තමාන වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
“අපි ඉදිකිරීම් සමාගමෙන් ලක්‍ෂ 500 කට වැඩි මුදලක් ඉල්ලා තිබෙනවා. මම හිතනවා ලක්‍ෂ 500 ක් ලැබෙයි. ඊට වඩා වැඩි මුදලක් අපි බලාපොරොත්තු වෙනවා”
“1996 ට පෙර ක්‍රීඩකයන් නොසිටියේ නම් අපිට 96 වසරේ ලෝක කුසලානය දිනන්න බෑ. ලෝක කුසලානයක් අපිට හීනයක් පමණක් වෙනවා. හිටපු ඇතැම් ක්‍රීඩකයන් ආර්ථික දුෂ්කරතාවලට පත්ව සිටිනවා. ඒ නිසා අපි මීට වසර හතරකට පමණ පෙර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න සාකච්ඡා කරලා එකඟ වුණා”

http://www.lankadeepa.lk